Thursday, August 10, 2017

අප්පච්චි ...

නුඹ නිදන සොහොන ලඟ
වැටි දෙදන බිම ගසා ගෙන
ඇඬුවාට පලක් නැ
දන්නවා මම හොඳටම

මා පණ සේ රැක්ක
මගේ හෙවණැල්ල නුඹ
එදා ඒ දවස් මට
එකින් එක පෙල ගැසෙනවා
බොඳ වෙච්ච ඇස් අගින්

එදා මම අඬන කොට
මහ මෙරක් වගේ හිඳ
මාව සැනසුවේ නුඹ
පිය සෙනෙහේ මුදුන්කඩ

මං ගැනම වද වෙනා
තැවුල් හිත පාරනා
⁣හැමදාම සේදුවේ නුඹ
මගේ බුදු අප්පච්චි 

අනන්ත වු මුදු ගුණෙන්
හිත මගේ සනසමින්
හිනා විතරක් තැවරුවේ
දුක් ගොඩක් උහුලමින්

හරි මඟම පෙන්නලා
නැණ නුවණ පාදලා
මගේ හිස මත කිරුලක් තියා
සතුටින්ම හිනැහුනා

පතිකුලේ යනදා
ගැලු කඳුළු  හංගාන
හිනැහුනත් මං දැක්කා
මුල්ලකට වි ඉකි ගසා අඬනවා

අප්පච්චි ...

මං ගිය දා පටන්
අප්පච්චි තනි වුනා
දුක් කඳුළු හංගාන
ඇයි ගියේ මං දමා

දන්නවා නම් බිඳක්
යන්නේ නැ අප්පච්චි 
නුඹ ලඟම ඉන්නවා
මගේ හුස්ම දි රකිනවා...

෴ආදරණීය මල්෴


Wednesday, August 9, 2017

කාර්තිකා...

බෙබද්දාගෙන් ගැලවි
නුඹ උන්නා නම් පාඩුවේ
නොයා තව මං සොයා ගෙන..
කුළුදුලේ උපන් දියණි තුරුළු කර
ඈට එළි වැටක් වුවා නම්
ජය ගන්න ජීවිතේ
නුඹ වැටුන බොරු වලේ
ඈ නොවැටේවි කවදාවත්
ජීවිතේ කියා දී ඈට
මව් වුණා නම් නුඹ ඈට
නුඹ නොසෙව්වා නම් කම් සැප
ඉපදිච්ච සීරුවට
තව පණක් නසන්නට
නුඹට සිතෙන එකක් නෑ කවදාවත්ම..
දැන් කෝ නුඹේ හුස්ම
වැටෙනවද වෙනදා වගෙ
නෑ නේද..
නුඹ පවින් උපන් ස්ත්‍රිය
කාර්තිකා... නුඹ ඉඟුරු දී මිරිස් ගත්තා නෙවෙද..

෴ආදරණීය මල්෴


කියවන්න පුරුදු වෙන්න
ඔබ සම්පූර්ණ මිනිසෙකු වෙිවි
ලියන්න පුරුදු වෙන්න
ඔබ විචිත්‍රවත් මිනිසෙකු වෙිවි...

෴ආදරණීය මල්෴



අපිට විවිධ විවිධ මිනිස්සු මුණ ගැහෙනවා..සමහරෙක්ට හොඳනැති කෙනා තව කෙනෙකුට හොඳ විය හැකි..අතක ඇඟිලි වගේ හරියටම..මිනිස්සු විවිධයි...සමාන කල නොහැකි...මිනිස්සුන් හා ගණුදෙනුව ප්‍රවේශම් සහගත විය යුතුයි ...

විශ්වාසය..කොහොමද විශ්වාස කරන්නේ..රහසක් නම් රහසක්ම විය යුතුයි..විශ්වාසය මත පවසන යම් දෙයක් වේ නම් එය රැක ගත යුතුයි..තැනින් තැන ප්‍රචාරන කටයුතු වල නොයෙදි...එකිනෙකාට උදව් කල යුතුයි..කිසිම දෙයක් බලාපොරොත්තු  නොවි...




අධික ලෙස කෝපාවිෂ්ඨ වීම තමුන් ඉන්න තැනිනුත් පහලට වැටිමක්..ක්ෂණික තීන්දු තීරණ වලට එලබීම ප්‍රශ්ණ  ගොඩකට මුල පිරිමක්..ඉවසිය යුතුයි..පසුතැවිම් නැති වේවි..තමුන් හරි යැයි හිතිමම රෝගි තත්වයක්..තත්වය එසේම නම් මඟ හැරිමයි හොඳම දේ..නිහඬව සිටිමයි නුවනට හුරු...




වචන..වචන භාවිතය ප්‍රවේශමෙන් ...තිබුණ පලියට පාවිච්චිය පසු තැවිමට කාරණාවක්...සියල් දේ අවසානයේදී 'සමාවෙන්නැයි' ඉල්ලීම තමුන් බාල්දු විමක්...සර්ව සම්පූර්ණ මිනිස්සු ලොකේ ⁣⁣කොහෙවත් නැ..හැමොගෙම වැරදි තියෙනවා..නමුත් වැරදි අවම කර ගත යුතුයි ...නොදැන සිද්ධ වෙන වැරදිත් තියෙනවා..තමුන් කරන කියන දේවල් ගැන මනා අවබෝධයෙන් යුක්ත වෙන්න...මතක නෑ යැයි පැවසිම ගැලවීමේ කූටම මාර්ගය බව තේරම් ගන්න...එකම වරද ආයි ආයි කරනවා නම් තමුන් ලැජ්ජාවෙන් තොර වුවෙක් බව තේරුම් ගන්න...තව කෙනෙක්ට ඇඟිල්ල දික් කිරිමෙන් වලකින්න මොකද තව ඇඟිලි තුනක්ම තමුන්ටයි..හරියටම පපුවට....මිනිස්සු නැති කර ගන්න එපා..ඒ නැතිවෙන්නේ ඔබේ ගොඩේ හොඳම කෙනා විය හැකි..




ඉරිසියාකාරයෙකු වෙන්න එපා..තවකෙක් තමුන්ට වඩා ඉදිරියෙන් නම් ඒ ගැන සතුටක් නැත්නම් ඒ දිහා නොබලා ඉන්න...තවකෙක් වර්ණනාවන්ට ..ආදර පැසසුම් වලට ලක් වේ නම් ඒ ගැන පහන් සිත් ඇති කර ගන්න..ඒ වගේ වෙන්න පොඩි උත්සහයක්වත් ගන්න...

දිනන්න අන් අයගේ අාදරය...ගෞරවය දෙන්න පෙරලා ඔබටත් ලැබේවි....



මම

ආදරණීය මල්
මියැදි වැටෙන්නට මොහොතකට පෙර
සිහියට එන්නෙම එකට උන් ඒ කාලයයි
මටත් නුඹ නැතිව බැරි වුන
ඒ මහා ජීවිත සංග්‍රාමයයි...

වෙන් වීම් ගැන හිතට ආ නැති
ගෙවුන සුන්දර කාලයයි
පැමිණි දුක් පැණි රස⁣යෙන්ම කලතා
ආදරෙන් උන් කාලයයි

සොඳුර නුඹ නැති තැනක පල නැති
ඒත් වෙන් වෙන කාලයයි
එකටමැ යමු එකට හමු වෙමු
සංසාර පෙම මේ තමයි

සමුගැනුම් රිදුමයි ඒ්ත් හිනැහෙමු
දෙන්න එකටම යන ගමන්
කඳුළු සඟවා යන්න යමු අපි
අායෙමත් අපි ..අපි ලඟයි...

෴ආදරණීය මල්෴
සොඳුර මේ වැටෙන්නේ
අවසන් හුස්ම නම්
මේ ඔබ ලඟින් ඉන්න
අවැසි කාලයයි
සොඳුර නුඹෙ ලඟ
හිනැහි ඉන්න කාලයයි
නුඹෙ සුවඳ විඳ
සැනහෙන්න කාලයයි
නුඹට මා මටද නුඹ
ආදරේ වග පසක් වන කාලයයි
අපිට අපි මඟැරුණ 
අසීරුම කාලෙක නිමාවක්
දුටු කාලයයි
වසන්තේ අවසාන මොහොතේ
සොඳුර මේ වැටෙන්නෙ
අවසන් හුස්ම නම්
නුඹෙ ලඟම මියැදෙන්න
මේ කාලයයි...

෴ආදරණීය මල්෴
සොඳුර ...
නුඹ නැතිව⁣ ගෙවුන
හැම දවසක්ම
මහා දිග කාලයක්
නපුරුකම් වෙලා ගත්

නුඹ ලඟින් ඉද්දි
මට දැනෙනා සුවය
හිතට දැනෙනා නිවන
කිසි තැනක නැ

සොඳුර ...
නුඹ මගේ හිත රඳව ගෙන
හිත නිවනා අරුම
ලඟ ඉන්න හැමදාම
නොගොසින් දුරක

සොඳුර..
නුඹ ලඟ
වසන්තය මට හැමදාම

෴ආදරණීය මල්෴

පිංතූරේ මගේ...


ඇත්තමයි ..

අපරාදේ මුණ ගැහු⁣ණේ 
කියන සිතිවිල්ල හිතට එද්දි
මුළු සර්වාංගෙටම ඉඳ කටු
ඇනෙනවා වගේ දැනෙනවා

ලඟින්ම වෙන් නොවි ඉන්න 
ඕනමයි කියලා හිතුන
හැම වෙලාවක
සිද්ධ වුනේ නුහුරට දෙයක්මයි
ඒකයි අපි මුණ ගැහුණ 
හැම දවසකම
ඉක්මනින් වෙන් වුනේ

හිත යට ගින්දරෙන්
කරන ආදරය
කවුරුම හරි දැක්කොත් කියන
හිතට එන සිතිවිල්ලම
අඩියක් ඉස්සරහට තියන්න ඉස්සෙල්ලා
ආපස්සට අඩි දහයක් අදිනවා

ඉතිං අපි හමු වු⁣ණෙ අපරදේ
ඔයා එහෙම කියද්දි
මම බිම බලන් ඔළුව වැනුවා...


෴ආදරණීය මල්෴

Tuesday, August 8, 2017

ජීවිතය කවියක්...

පැද්දෙනා පියවෙනා
මහ විසල් ඇස් වටා
මගේ හිතඅතරමං
දකින වාරක් පතා

නොහැගෙනා කෙටි කතා
කිය කියා මුව පුරා
මගේ සවන් පිනවනා
කතා කාරියම ඇ

දඟකාර කෙස් රොදක
සිප ගන්න නලලතම
සුළගට ලෙලදෙනා
සිප සිපම මුදු උවන

දඟ කරන දෙතොලතර
අතරමං හිත තවම
ඒ දෑත අල්ලාන
හුඟ ඈත හිත තාම..


෴ආදරණිය මල්෴



ජීවිතය .....
දුක් ගැහැට පිරුණ
සැපක් කිසිදා නොවිදි
නුඹේ පියා නාටාමි
කැහැටු ගැහුණ ඇඟ අස්සේ
දරු දුක හංගාන
නැහෙන්නේ උඹලාට
හෙට ලොවක් හදන්නට

මහ මංදිරයක සැපක් නැති
ඉහ ගහන මහ පොලවේ
දුක් පිරුණ දිවි බරට
නුඹලා සැපක්මැයි දරුවනේ

රස මසවුලු නැතත්
තුන් වේලම නැතත්
අහිතක් නොහිතා
සමා දියන් අපට
දරු සෙනෙහේ පිරි ගිය හදවතට

අපා ගත දුක් පෙර කරපු පව් වලට
විඳින්නම් කමක් නැ
රජවෙයන් හෙට දිනේ
සැනසිල්ලේ මියැදෙන්න

මහ නපුරු ලෝකේක
නුඹලා තාම  මල් පොට්ටු
හරි පරිස්සමට තියන් අඩි හෙමිහිට
මනුසත් ගුණ සුවඳ
හදවතේ රදවගෙන
සෙමින් ලෝකේට යන්න..

෴ආදරණීය මල්෴
අරපිරිමැස්ම ....

ගෘහණියක් වුනාම ඉතිං  අරපිරිමැස්මෙන් කටයුතු කරන්න බලා ගත යුතුමයි...ඉස්සර මගේ අම්මා නම් පුදුම විදිහට අරපිරිමැස්මෙන් කටයුතු කරපු කාන්තාවක්..ඒ විදිහට මුළු මාසයක්ම අරපිරිමැස්මෙන් පාලනයකින් යුතුව වැඩ කටයුතු  කිරිම තාමත් මට නම් හීනයක්..ඒත් යම් තාක් දුරට අරපිරිමැස්ම ගැන අවබොධයක් නැතිවම නෙමේ....

මගේ අම්මා මට මතක කාලේ ඉඳලාම මාසේටම අවශ්‍යය කල්තියා ගන්න පුළුවන් හැම බඩුවක්ම ගෙනැල්ලා තියා ගන්නවා..මාත් එහෙමයි..විවාහ වෙලා ආ දවසේ ඉඳලාම මාසෙ බඩු එකවර ගෙනත් තියා ගන්නවා ..මම නම් ඒකට යොදා ගන්නේ ආර්පිකො සුපර් මාර්කට් එක..මොකද සුපර් මාර්කට් එකක තමන්⁣ට අවශ්‍ය හොඳම දේ තෝරා බේරා ගැනිම ඉතාම පහසුයි....
කොතැනටකට ගියත් අවශ්‍ය දැ ලැයිස්තු ගත විය යුතුයි....මා⁣සේ බඩු ටික පුරුද්දකට  ගන්නේ සුපර්මාර්කට් එකකින් නම් තමුන්ට අවශ්‍ය භාන්ඩ තියෙන තැන්   හුරු පුරුදුයි..ඒ නිසා හැම තැනම ඇවිදලා කාලය මිඩංගු වීමක් නැ...මම නම් මගේ ලිස්ට් එකේ එහෙමත් නැත්නම් ගෙදර අඩු පාඩු මුලින්ම සපුරගෙන තමයි අනික් දේවල් වලට ඇහැ යවන්නේ..අනික බොරුවට දේවල් අරන් ගිහින් ගොඩ ගහන්නේ මොකටද..දරුවෙකුට කන්න අරන් දෙන්න පුළුවන්නේ මොනාම හරි...මට නම් හිතෙන්නේ එහෙම..





මුලින්ම තමුන්ගේ මුලික ඕන එපාකම් වලට මුල් තැන නොදි..පේස්ට්‍රි ෂොප් එකට හරි පලතුරු වලට හරි වෙන මොනාම හරි නොවැදගත් දේකට හිත යනවා නම් ඒක වෙනස් මානසික තත්වයක්..කාර්ට් එකක් අරන් ගිහින් ගන්නේ අදාලම නැති බඩු නම් ඒකත් මානසික ප්‍රශ්ණයක් ....මාසේ බඩු ගොඩක් නිසා මම නම් කාර්ට් එකක් අනිවාර්යෙන්ම ගන්නවා..එහි පිරෙන්නේ ගෙදර ඕනැ එපා කම් වලින්..අනික මහත්තයා දුක් විඳලා හම්බ කරලා දෙන මුදල් අනවශ්‍ය දේවල් වලට යොදන්න හිතෙන්නෙම නැ..හැබැයි ඉතිං...ඕන කරන හැම දේම අඩු නැතිව තිතට ගන්නවා..ආයි..ආයි ක⁣ඩේ දුවන්න දුවන්න පුළුවන් කාටද. ...අනික මහත්තයාව වුනත් තිස්සෙම කඩවල් ගානේ යවලා මහන්සි කරන්න ඕන නෑනේ....ඒ වගේමයි ගෙනාපු බඩු ටික පරිස්සම්ට
පිලිවෙලට අසුරලා තිබ්බම පාවිච්චියට ගැනිමත් පහසු කරවනවා....


ලිස්ට් එකක් ලියාන ගිහින් අනවශ්‍ය දේවල් ගන්න එක මට නම් හිතෙන්නෙම මෝඩකම කියලා..එක දෙයක් ගන්න ගිහින් තව දෙයක් රැගෙන ඒම..මාත් අනන්ත දැකලා තියෙනවා සමහර අය ගන්න දෙවල්..මම නම් කට ඇරන් බලන් ඉන්නේ...නිකන් හිතලා බලද්දි ඒවා බොරු දේවල්ද කියලත් හිතෙනවා මුදල් තියෙන පලියට ගන්න..


සමහරු එළුවලු ටික පවා ගන්නේ සුපර්මාර්කට් එකෙන්....මම නම් ආසාම පොලේ රවුමක් දාලා හොඳ එළුවලු ටිකක් පලතුරු ටිකක් අරන් එන්න..ඒක නම් ඇඟට වගේම හිතටත් හොඳයි...චුට්ටක් ඇවිදලා ගමේ ගොඩේ කෑමක් හොයන් ඇවිත් හදන එක පුදුමාකාර තෘප්තියක් වස විස කනවට වඩා..කපපු පැපොල් පලුවත් ලොකු ගානක් දීලා සුපර්මාර්කට් එකෙන් හරි අභිමානෙන් ගෙදර අරන් යන මිනිස්සු ඉන්න රටක් මේක...මේ ඉතිං මගේ අදහස් ටිකක් විතරයි...





මම
෴ආදරණීය මල්෴
හුදෙකලාව...

කලබලකාරි පරිසරයෙන් මිදිලා ටික වෙලාවක් හරි ඉන්න තියෙනවා නම් කොයි තරම් හොඳද...ලියන්න..කියවන්න..හිතන්න එහෙමත් නැත්නම් ජංගමය අරගෙන හිතට එන සිතිවිලි මුදා හරින්න නිදහස් පරිසරයක තනිවෙලා ඉන්න තියෙනවා නම් මොහොතක් හරි මම නම් හරිම ආසයි...



කාලයක් තිස්සේ කල මෝඩකම් ගැන හිතන්න..ජිව්තේ ලබපු නීරසම අත්දැකිම් මෙනෙහි කරලා ඒ වගේ අත්දැකිම් ජීවිතේ ආයෙත් එක්කාසු නොකර ගන්න කල්පනා කරන්න ආසයි...සමහර මිනිස්සු වෙනස් නොවි වෙනසක් නෙපෙන්වා අපි ලඟම කැරකෙමින් අපිට වල කපපු හැටි හිතන්න..ඒ මිනිස්සුන්ගෙන් දෛවය විසින්ම අපිව ඈත් කරපු හැටි ආයෙත් හිතන්න ඕන...තනියම නිදහසේ...බාධක හිරිහැර වලින් මිදිලා ආව හැටි හිතන්න..පොතක් අස්සෙ හිර වෙන්න ආසයි..



හිතිවිලි ඉහල අහස දක්වාම මුදා හරින්න හරින්න නිල්ම නිල් අහසේ චුට්ට  වෙලාවක් හිතින් කරක් ගහලා එන්න..කාටවත්ම කරදරයක් නොවෙන විදිහට...නිදහසේ කවි  තුන හතරක් ලියා ගන්න නිදහසේ ඉන්න ඕන..අහිංස හීන දෙක තුන ඇස් පියාගෙන විඳින්නත් ඕන.



එකම එක මොහොතක් තනියෙම නිදහසේ මොහොතක් ඉන්න තිබ්බොත් මම මුළු ලෝකෙම ස්පර්ශ කරනවා හිතින්...





෴ආදරණීය මල්෴
ඇසිල්ලක්....




මට ඔයාව ඕනමයි කියලා
හිතෙන වෙලාව මේ
ඔයා මගේ ලඟ නැති මොහොත...
උර  හිසට ඔළුව ගහන්
දුක කියන්න අවැසිම මොහොත.. 
නැත්නම් ඔයාම මාව පපුවට තුරුල්
කර ගනිද්දි මට තවත් තුරුල් වෙන්න
ඕන මෙහොත..
ඔයා ගොඩක් ඈතින් ඉන්න කොට
හිතට එන භයංකාරකම
නොහොඳ නෝක්කාඩු පසෙක ලන ඇසිල්ල..


෴ආදරණීය මල්෴
නුවර පෙරහැර...






ඉස්සර පොඩි කලේ අප්පච්චි අපිව නොවරදවා නුවර පෙරහැර බලන්න එක්ක යනවා..පුංචි ඈයො වෙච්ච අපි පුදුම ආසයි පෙරහැර බලන්න..අප්පච්චිට පෙරහැර බලන්න ඒ දවස්වල තැන් හම්බ වුනා..නිදහසේ බලන්න පුළුවන් ..මම නම් ආසම අර ලස්සනට ඇඳුම් ආයත්තම් ඇඳන් ඉන්න අලි ඇත්තු බලන්න...සේරටම වඩා ආස පුංචි අලි පැටව් බලන්න ආසයි..එයාලා බෙර තාලෙට පැද්දී පැද්දි අපූරු  රංගනයක් ඉදිරිපත් කරනවා...






පංදම් වලට දාන කොප්පරා පිච්චෙන කොට පුදුම සුවඳයි...ඒ සුවඳ තාමත් තියෙනවා හිත අස්සේ...විවිධ විවිධ අංගයන් යටතේ ඉදිරිපත් වෙන හරිම ලස්සන  පෙරහැරක් නුවර පෙරහැර ...ලංකාවේ හැම පලාතක්ම නියෝජනය කරමින් විශාල සෙනඟකින් මුලු මහනුරම පිරෙන..ඒ විතරක් නෙමේ විදෙස් රටවල් වලින් පැමි⁣ණෙන අමුත්තන්ගෙන් පවා නුවර පිරෙන කාලයක්..





කාලෙකින් ⁣නුවර පෙරහැර බලන්න ගියේ නැ..ඒ දවස් වල බලලා බලලා අගයක් නැති වුනාද කියලා හිතෙනවා..ඒත් දවසක දරුවො එක්ක යන්න ඕන..එයාලටත් ඒ අත්දැකිම විඳින්න...ඒ කාලේ කොයි තරම් සුන්දරද..ජිව්තේට ආයෙත් එන්නේ නැති...

෴ආදරණීය මල්෴
මතක ..


පුංචිම කාලේට ආයිත් සැරයක් ගිහින් එන්න තියෙනවා නම් කොච්චර හොඳද..කිසිම බරක් නැති සැහැල්ලුවෙන් ⁣පාවෙන පුංචි කාලේ..ඉස්සර ක්ලේ වලින් එක එක එ්වා හදන්න මම පුදුම ආසයි...හිතෙන හිතෙන රූප හදන්න හිතින් මැවෙන විදිහට..සමහර විට මෙි ලොකේවත් නැති දේවල් හදලා තියෙනවා...


එහා ගෙදර දූ පැටියෙක් කොරිඩෝවේ බිම ඉඳන් තනියෙන් ක්ලේ එක්ක බරටම වැඩ..මාත් ඉතිං එයා ලඟ ඉඳගෙන කතාවට අල්ල ගන්න ගමන් ක්ලේ කෑල්ලක් අතට අරන් එහාට මෙහාට කර කර ඉද්දි බබාලගේ අම්මත් ඇවිත් අපිට එකතු වුනා..අපි හිනා වෙවි කියව කියව කියවා එක එක ඒවා හැදුවා(මෙතන තියෙන්නෙ නම් ටිකයි..මොකද අපි හදපු ඒවාලින් අපිම ගහ ගත්තු නිසා) හිනා ගොඩයි හිතත් සැහැල්ලුයි ...කොයි තරම් ආදරණීය මතකද අපි ගොඩ ගහන්නේ..අපේ පිස්සු වැඩ වලටයි තොරතෝංචියක් නැති කියවිල්ලටයි..හිනාවටයි පොඩි අයට හිනා...පුංචි කාලේ ආයේ එන්නැති වුනත්..මතක ඉඳ හිට හිත දිගේ අපේ දරුවන් නිසා ආයේත් අපේ ඇස් ඉස්සරහ මැවෙනවා....එහෙම වෙනවට මං ආසයි...


෴ආදරණීය මල්෴
ජීවිතය ...



නුඹේ ලඟ හෙවනට
නුඹේ හයියට
ජීවිතේ ජීවත් කර වු හැටි
තවත් මතකයි මට
නුඹ ගිලිහි වැටෙද්දි 
නුඹේ පිහිටට 
හයියක් වෙන්න බැරි වුන හැටි
ඉදින් නුඹ සමඟ මියැදෙමි
එයම සැපයකි මට...


෴ආදරණීය මල්෴
සොඳුර නුඹ ප්‍රේමිය. .



මැණික ..
තාමත් නුඹෙ හිනා වත
ඉස්සර වාගේමයි
මගේ සරතැස නිවන

නුඹේ නිල් නෙතු යුගල
නිතර මට ආදරේ කීව
තාම කිසි වෙනසක් නැති

කටු කොහොලින් පිරුණ 
මහ ගිරි දුර්ග පසු කර යද්දි
නුඹ මට මුණ ගැහුණ හැටි

මුදු සෙනෙහෙ තවරලා
හිතේ පිරි දුක් ගැහැට පිස
නුඹේ ආදරය ලඟ
ඈතකට ගිය හැටි

මැණික ..

දැන් කොච්චර කල්ද
බිඳකුඳු නොවෙනස්ව
නුඹ මගේ ලඟ
ඉස්සරම හිනාවෙන්
තව මා සනහන හැටි...


෴ආදරණිය මල්෴

සොඳුර ...

ජිවිතේ එකට යන්නට
නුඹ ආදා පටන්
මගේ ලෝකෙට
මල් වරුසා වැටුනා

වේලක් ඇර වේලකින් වුනත්
කුස පිරුනේ සමහරදාට
ඒත් හිතේ කහටක් නැත
නුඹ හිනැහිලා උන්නා මගේ හිත ගාව

නුඹ දේවතාවියක්
මට හැම දේ දුන්න
මගෙ පන⁣සේ රකිමි
සොඳුරි නුඹ මගෙ පන

අග හිඟකම් ඇතත්
ආඬපාලි කීවෙ නැ කිසි දිනක
නුඹ මයේ රැජිණමයි
සැතපෙනු මගේ හිත ගාව

සංසර තව දිගයි
එකටම යමු දෙන්නා
ඉපැදෙන හැමදාක
මගෙ වෙලා නුඹ ලඟ ඉන්න

෴ආදරණීය මල්෴

ඉස්සර



එකම එක
කදුළකටවත්
ඉඩ නොදි අපි
උන්නු හැටි
මතකද....
ජිවිතේ
සතුට වාගේම
කටුක බව
පසක් කර
උනපු එක කදුළත්
පිසදා හැර
සිනාසුන අපුරුව
තොර තෝංචියක් නැතුව
කියව කියවා
ජිවිතය......

෴ආදරණීය මල්෴


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...