Saturday, August 19, 2017

වියපත් නොවු ප්‍රේමය ...


ඔහුත් ඇයත් මුණ ගැහෙන්නේ අහම්බයකින්....පළමු දැකිමෙන්ම ඔවුන් එකිනෙකා පුදුම විදිහට බැඳුනා...ඒ අහඹු හමු වීම දෙවනි වතාවටත් මුණ ගැහෙන්න පාර හැදුවා...ඊට පස්සේ ඔවුන් මුණ ගැහුණ හැම දවසක්ම පුදුම සුන්දර දවස් වුනා..ජීවිතේට කවදාවත් අමතක නොවෙන තරම් ම්හිරි මතක එයාලා දවසින් දවස ගොඩ ගැහුවා...

එයාලා මුණ ගැහුණ හැම දවසෙම ආදරය වගේම විවිධ විවිධ  කතා බස් වල නිරත වුනා...එයාලා එයාලගේ අනාගතය ගැන හීන මැවුවා..ඒවා හරිම ලස්සන හීන...හමු වෙලා වෙන් වෙලා යන හැම දවසකම එයාලට දුකක් දැනුනේ නෑ..මොකද එයාලා දැනන් උන්නා එයාලා පුරුදු විදිහටම ආයෙත් මුණ ගැ⁣හෙනවා කියලා...දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කල නිසාත්...හැල හැප්පිලි කොහෙත් නැත්තේ නැ...ඒ හැම දේම ඔවුන් සීරුවට බේරා ගත්තා...

කොයි තරම් ප්‍රශ්ණ ආවත් අවසානයේ දෙමාපිය නෑදැ හිතවතුන්ගේ ආශිර්වාදය මැද එයාලා විවාහ වෙනවා..හරිම චාම් විදිහට කෙරුන මේ විවාහය දාා ඔහු ඇගේ කනට ලංවෙලා කීවේ..'මම ඔයාට ඉස්සරටත් වඩා ආදරෙයි..මම මගේ පණ වගෙ ඔයාව රැක බලා ගන්නවා මට පුළුවන් විදිහට..හැම සැපම දීලා..ඒ වගෙම ඔයා මට තෑගි දෙන මගේ දරුවන්වත් රැක ගන්නවා'...කඳුළු ඇස් වල පුරෝ⁣ගෙන ඇය බලන් උන්නා ආදරෙන්..ඇයත් ඒ වගේම පොරොන්දු වුනා විශ්වාසය රැක ගන්න..ඔහු වෙනුවෙන් විතරකම මඟ බලන් ඉන්න හැමදාම...

ඉන් උදා වුන හැම උදේකම ඈ අවදිලා නැගිටලා යන්න කලින් ඔහුගේ නලල සිප 'මම ඔයාට ආදරෙයි' කියන්න අමතක කලේ නැ...

ඉන් උදා වුන හැම දවසකම ඔහු රැකියාවට පිටත් වෙන්න ඉස්සෙල්ලා ඇගේ නලල සිප ' ආදරෙයි මැණික'
පරිස්සමින්  ඉන්නැයි කියන්නත් අමතක කලේ නෑ...


කාලයක් ගත වුනාම ඒ දෙන්නා ආදරණීය දෙමාපියන් වුණා.....ආදරණීයම දරුවන් ලෝකෙට දුන්න ඔවුන් ඉස්සර වගේම වෙනසක් නැති ආදරෙන්ම ජීවත් වුණා...දරුවන්ට ඉගැන්නුවා..ලොකු මහත් කළා..ඒ හැමදේටම වඩා වඩාත් හොඳ මනුස්සයින් බවට පත් කළා...කාලයාගේ ඇවැමෙන් දරුවෝ ලොකු මහත් වුනාම ඔවුන් එකතු වෙලා දරුවන්ව විවාහ කරලා දුන්නා......

ඒත් එයාලා වැඩි පුරම දුක් වුනේ එයාලගේ එකම දියණිය විවාහ වි යන දවසේ..


පුංචි කාලේ ඉඳලම හුරතල් දැරියක්ව උන් ඇයව ගෙදරින් පිටමන් කරද්දි හිතට දැනෙන දුක අයාසයෙන් දරා උන්නත් ඇයට මතක් වුනේ එදා තමුන් පිටමං වි එද්දිත් මගේ අම්මයි අප්පච්චිත් මේ වගේම දුකක් හිත යට දරාගෙන ඉන්න ඇති.....කොයි තරම් දුකක් වුනත් ජීවිතේ හැමදේටම මූණ දෙන්නත් ශක්තිමත් ශක්තිමත් වෙන්නත් ඔවුන් සැලසුම් කරලා තිබුණා...


දරුවන් ආදරෙන් සිප වැලඳ තුරුල් කරන් හදන කාලය තරම් මනරම් කාලයක් ලෝකයේ් තවත් කොහෙද තියෙන්නේ....කාලය හරිම ඉක්මනින් කැරකිලා ගිහින්....හැල හැප්පිලි මැද්දේ ඔවුන් ගොඩක් වයසට ගිහින්...ඒත් ඔවුන්ගේ ආදරය වියපත් වෙලා නෑ..තාමත් එකිනෙකා නැතිව ජීවත් වෙන්න බැරි ඔවුන්...ඒත් ඇය නිතරම කීවේ ..'අනේ ..මට කලින් ඔයා මැරෙන්න ඕන...
මම කලින් මැරුනොත් ඔයාව බලා ගන්න කව්රුත් නැති වෙයි..ඔයා මැරිලා ඊළඟ දවසේ මම මැරුණත් කමක් නැ'.....


බොහෝ කල් ඇවැමෙන් වියපත් වුනත් ආදරෙන් කල් ගත කල ඔවුන් මේ ලෝකේ හැරදාලා යනවා....ඒ තම ස්වාමි පුරුශයාගේ අභාවෙන් දින දෙකකට පසු ඇය හෘදයාබාධයකින් මිය යෑමත් සමඟ ..ඇයගේ බලවත් ඉල්ලිම පිට ඔවුන් මිහිදන් කරනු ලැබුවේ එකට..එක දවසක....

ඔවුන් සංසාර දොරකඩදි මුණ ගැහුණත් නැතත් ඔවුන් පාඩමක් කියාදි නික්ම ගිහින්...ඒ තමා ආදරය...කොයි තරම් හුළං කෝඩ ආවත් නොවෙනස් ආදරය..



මම
ආදරණීය මල්....



Friday, August 18, 2017

නුවර...



ඇවිදගෙන හරි හරියට ගියපු
ඒ නුවර පාළුවට ගිය
සොහොනක තනි වෙච්ච හැඟිමක් හිත මෝදු වි

ඇසට කඳුළුක් එතැයි බියෙන්
වේගයෙන් ඇස් පියන් සලන
මොහොතකදු පවා පමා වැඩිදැයි
සිතෙන තරමට මගෙ හිත ගැහෙනවා

නුඹත් මමත් ඇවිද ගිය
මංසලකුනු සොයා
මගෙ හිතත් මොහොතකට
මුළු නුවර ඇවිද්දා...


~~~~ආදරණීය මල්~~~~
කෝපය...

කෝපය ඔබට බොහෝ දේ නැති කරයි..කෝපය ඔබව දුර්වලයෙකු බවට පත් කරයි..බොහෝ විට ඔබ කෝපයට පත් වූ විට ඔබ බොහෝ සේ කියවයි..එහි කිසිම වැදගත් හරයක් නොමැති වෙන්නත් පුළුවන්..ඔබ ඔහේ ආවේගයෙන් කියවයි..පසුව ඔබ කල්පනා කරයි..නමුත් ඔබ සියළු දේ කියා හමාරය..අනෙකාගේ හිතද රිදවා හමාරය..බොහෝ අය ඔබ හැර දමා යාවි....



අධික ලෙස ඔබට ආදරය කරන්නෙක් නම් ඔබ ලඟම රැදේවි..ඔබව අත හැර දමා නොයාවී..කෝප ගත් විට ..පසුව ඔබ කියාවි ඒ මගෙ හැටි කියලා..ඒත් ඔබ දන්නවද ඒ වචන ඔබ ඔබේ වාසියට හරව ගත් නිස්සාර වචනයක් කියලා..කල්පනා කරන්න..ඔබ නීරෝගිමත් පුද්ගලයෙක්..ඔබ කෝප වන විට ඔබේ ශරීර අංග කීයක් ඒ නිසාම දුර්වල බවට පත් වෙනවද කියලා..කෝපය නිසා දුර්වල කරනවා ඔබේ අක්මාව..යම් තරමකට හෝ ඔබේ රුධිර පීඩනය වැඩි වෙනවා..මොලය වෙහෙසට පත් වෙනවා විතරක් නෙමෙ ඔබේ අපූරු ශරීරය රූපය පවා අවලස්සන කරනවා..කැමතිද ඔබ ලෙඩෙක් වෙන්න..මේ තේරුමක් නැති කෝපය නිසා..කැමතිද ඔබේ සැනසීම නැති කර ගන්න කෝපය නිසා..කැමතිද ඔබේ ප්‍රාණ සමාන ඈයින්ව ඔබේ ජීවිතේන් ඈත් කර ගන්න..තනිවෙන්න..



කෝපය හරි භයානක දෙයක්..නිකමට හිතන්න..අධික කෝපය නිසා මිනී මැරුම් පවා සිද්ද වෙලා තියෙනවා..ඒක පැත්තකින් තිබ්බොත් කෝපය නිසා යාලු කම් පවා නැති වෙනවා..දවසක ඔබ හුදකලා වේවි..ඒත් එකෙක් හෝ නතර වේවි..ඒ ඔබට හැබෑම ලෙන්ගතු කෙනෙක්..ඔහු හෝ ඇය ඔබ දමා නොයාවි..බැනුම් අසමින් හෝ ඔබට පාර කියාවි..ඒත් ඔබ වටහා ගද්දි ඔබ පමා වැඩි වෙන්නත් පුළුවන්..ඔබ තව දුර යා යුතුයි..කෝපය මැඩ ගත යුතුයි..කෝපය නැති හිතක සැනසීම කෝප ගන්න ඔබ දන්නේ නැති තරම්..නමුත් මා දනිමි..ඉවසීම නිසා බොහෝ දේ ලදිමි..අවවාදයක් දුන් කළ කිපෙනු එපා..



සමහර විට ඔබට වඩා පැහැදිලි දුරක් ඔබට අවවාද කරන කෙනාට පෙනෙනවා ඇති..උපෙක්ශාවෙන් හිතන්න පුරුදු වෙන්න..ඉවසන්න පුරුදු වෙන්න..කෙනෙක් හාර හාර ප්‍රශ්න ඇසු පමණටම කෝපා විශ්ට වෙන්න තරමට අණුවන නොවන්න..කෝප වුණත් මැඩ ගන්න පුරුදු වෙන්න..මා දකින විදිහට කෝපය තමා ලෝකේ තියෙන දරුම ආයුධය..සංසුන් වෙන්න...ඔබ බොහෝ දේ දිනාවි..ඔබ බොහේ දේ ලබාවි..එදාට ඔබට මතක් වේවි මේ සටහන...ඉවස්සීම කොයි තරම් අගනේද කියා ඔබට සිතේවි...ජය..

෴ආදරණීය මල්෴
ආයෙමත්..සල් මල් පිපුනදාකට
ඒ සුවදින්ම අවදිවේවි සාමා
අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක
යාවි ඒ සල් ගස යටට.....

ඉතිං ඈ අසාවි සල් ගසෙන්
මතකදැයි මාව
මේ සුවඳ සල් මල් ගොඩෙ
එදා ඇගෙ ඉරණම විසදිච්ච...

ඒත්..සල් ගස
පුදුමෙන් බලාවි ඈ දෙසම
කොයි තරම් වෙනසක්ද
එදා දුටු ඈමදැයි අසාවි
කෝ අමර කොහේදැයි බලාවි..

පිපුණ නෙළුමත් එක්ක
හිදිද්දි ඈ බලන්
සල් ගසත් හඬාවි
තේරිලා හැමදේම
පරවේවි සල් මලුත් ආයේම..

෴ආදරණීය මල්෴

Wednesday, August 16, 2017

මඩ ගොහොරු මත පිපුන
නෙළුම නුඹ රුසිරි පිරි
මෙගොඩ රැඳි රකුසු නෙත්
දිලිසේවි නුඹ ඩැහැ ගන්න

දස මසක වාරුවෙන්
නුඹ හැදුවේ සීරුවෙන්
නපුරු දන නිය අයා
මෙගොඩ ඇති අත තියා
පෙති කඩා වනසන නියා

නෙළුම නුඹ නුවණැසින්
ලොව බලා හිනැහියන්
මඩ ගොහොරුවක මුත්
මුල් දරා ඉපැදුනේ
අභිමානයක් ඇත
නුඹේ හිසෙ රඳවාපු

එපා මියැදි වැනසෙන්න
නපුරු ගොරහැඩි අතක
රැක ගන්න තේජසින්
නුඹේ ගෙනා නැණ සුවඳ
දිනන්නට ලෝකයක්
නෙළුමියේ නුඹටත් හැකිය...

෴ආදරණීය මල්෴





ඉතිං මං නොකියා ඉන්නේ කොහොමද
ඔබ හරිම ආදරණීය  වග
ඔබෙ ලඟ හිත නවතින වග
දවසින් දවස ඔබ මහිතට ලං වන වග
කොහොමද නොකියා ඉන්නෙ මම

රළු පිරිමි හිතක් ලඟ
නවතින්න හිතක නැතිවද
ඔබෙ හිත පැහැබර බව
දැනෙනවා දවසින් දවස

බැමි වලින් තදටම බැඳුන
වැට කඩොලු බිඳ යන්න බැරි
නුඹේ ලඟ නවතින්න
අහිමිව ගිය ලකුණු
පතන්නද තව ආත්මෙක
නුඹේ ලඟ නවතින්න
වෙන් නොවන බැඳිමක
හරි තදින් බැඳෙන්නට.....

෴ආදරණීය මල්෴


මඟ බලපු ඇස්
නුඹ දකින්නට
මඟ ඇරි යද්දි
කඳුළු  හංගන ඇස්
තාම නුඹ සොයනවා
පුරුදු තැන..

෴ආදරණීය මල්෴