Thursday, June 7, 2018

නමක් නැති කතාවක්....



අම්මාගේ මල ගෙදර එන අය හිතනවා ඇති මං හරිම හිතක් පපුවක් නැති එකියක් කියලා....ඒ මගේ ඇහින් කඳුළක් වැටෙනවා තියා එක ඉකියක්වත් වැටෙන් නැති හංදා..

දොරකඩ හිටගෙන කාගෙවත් මූණක් බලන්නේවත් නැතිව ඉද්දි..

"මේකි නම් අමරාගේ කුසින් ඉපිදුන එකියක් වෙන්න බෑ"

හෙමින් කීවත් උන් දන් නැ මට ඒවා ඇහෙනවා කියලා...ඕන එකක් කියන්න ඇරලා මම නෑහුණා වගේ ඉන්නවා...

අම්මාව තනියෙන් සොහොනේ තියලා ගෙදර එද්දි මම දරාගෙන හිටියේ පුදුම අමාරුවකින්...පුංචි හීතලකවත් දරා ගන්න බැරි මගේ අම්මා...අර පොලවෙ යටම පස් වල හීතල කොහොම දරා ගනිද කියලා හිතද්දි මටත් පනින්න හිතුනේම ඒ වලටම අම්මාට තුරුල් වෙලා නිදා ගන්න..

**********************************

අම්මාගේ දිලිසෙන නිල් පාට ඇස් දෙක මට තිස්සෙම මතක් වෙනවා...අම්මා හරි ලස්සනයි ...ඒ ලස්සනවත් ..ඒ පාටවත් මට කොහොමත්ම තිබ්බේ නැ...

උප්පැන්නේ තාත්තාගේ නම තිබ්බේ නැති වුණාට මම කවදාවත් අම්මාගෙන් ඇහුවේ නැ මගේ තාත්තා කෝ කව්ද කියලා

එහෙම අහලා මං නිසා මේ සා විශාල දුක් කන්දක් විඳින අම්මාගේ හිත පාරන්න ඕන වුනෙත් නැ මට තාත්තා කව්ද කියලා දැන ගන්න උවමනාව මගේ හිතේ තිබ්බට...

අම්මා ලඟින් අවේ හරිම අමුතු සුවඳක්...මම හිතන්නේ මම හුස්ම ගත්තේ ඒ සුවඳින්මයි...උදේ පාන්දර නැගිටලා තියෙන දෙයක් තම්බලා තියලා මම නිදන් හිටියොත් මගේ නලල ඉඹලා අම්මා යනවා....ඒ යන්නේ රබර් වත්තේ කිරි කපන්න...

ඉස්කෝලේ ඇරිලා මමත් යනවා ඔට්ටුපාල එකතු කරන්න...මමත් පුරුදු  වුණා කිරි කපන්න....අම්මා ඒවා කියලා දුන්නේ මට බැන බැන..

" මේවා උඔට බෑ බං කෙල්ලේ....උඹේ අත මේවට හුරු නෑ...අනික උඹ මේ රස්සාව කරන්න ඕන නැ...උඹ හොඳට ඉගෙන ගනින්"

පුළුවන් වුණ හැම දවසකම මම ගියා අම්මා එක්ක කිරි කපන්න...එකක් මට අම්මා නැතිව ඉන්න බැ...අනික මට අම්මාගේ සුවඳ විඳින්න ඕන...අම්මාගේ පපුවෙන් ආවේ අමුතු සුවඳක්...දාඩිය ගඳක් මට කවදාවත් දැණුනෙ නෑ....

"අහකට පලයන් බං කෙල්ලේ දාඩිය වැක් කෙරෙනවා"..ගඳයි"

"මයේ අම්මා මට සුවඳයි"

එහෙම කීවම අම්මාගේ ඇස් වල කඳුළු පිරෙනවා...

*******************

අම්මා නැතිව මම ගෙදර ඉන්න පලවෙනි ⁣දවස මේක....මට ඕන කෑ ගහලා අඬන්න...එළියට ආවේ නැති කඳුළු වල ඉකි වල කොයි තරම් ආදරේ තියෙනවද...ඒක කාටවත් පේන්නේවත් ..දැනෙන්නේවත් නැ...

"අම්මේ"

මට කෑ ගැස්සුනේ  ඉබේටම වෙන්න ඇති....මල ගෙදරට ඇවිත් හිටපු අයගෙන් කීපදෙනෙක් ඉතිරි වුණා මල බත කන්න...ඒ කෑ ගැහිල්ලට කවුරුත් කන එක නතර කලා.....

කවුද ගෑණු කෙනෙක් මගේ ලඟට ඇවිත් ඔළුව අත ගානවා වගේ දැණුනා..

"මට ඕන වුණේ ඉගෙන ගෙන රස්සාවක් කරලා අම්මාව බල ගන්න...හැමදාම මාත් එක්ක දුක් වින්දා...මාව හොඳට තියන්න...මැරෙනකල්ම දුක් වින්දා...මට මොකුත් කර ගන්න බැරි වුණා මයේ අම්මේ"

***************

අම්මෙක් අප්පෙක් නැතිව ජීවිතේ කොයිරම් අමාරුද..කටුකද....කිසිම කෙනෙක් නැතිව තනි වෙන එක කොයි තරම් අසරණකමක්ද...මට අද හොඳටම දැනෙන මේ තනිය මගේ අම්මාටත් දැනෙනවා ඇති....අම්මා කොයි තරම් හොඳද..කොයි තරම් ඉවසිලිවන්තද...මාව දීලා ගිය තාත්තට කවදාවත්ම දොසක් නොකියපු මගේ අම්මා...
අම්මේ ඔයා මගේ ඇස් දෙකේ ඉන්නවා කඳුළු අස්සේ හැම තිස්සෙම...

මාව ගෙනියන්න හදපු තැනට මම හෙමින් යන්නම් අම්මේ....පාර වරදවා ගන් නැතිව...මම අම්මාගෙන් ඉගෙන ගත්තු හැමදේම හිතේ තියාගෙන..ජීවිතේ  වරද්ද ගන් නැතිව යන්නම්...

අම්මේ හැමදාම මගේ ලඟ ඉන්න...මගේ තනියට....මගේ නලල ඉඹලා යන්න ඉස්සර වගේම....නිවන් නොදැක ඉන්න අම්මේ තව එක සැරයක් මට අම්මාගේ දුවම වෙන්න...

මට හරි තනි අම්මේ....

ආදරණීය මල්

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...