Wednesday, May 9, 2018

හිතත් හරි පුදුම තැනක්....





කොටුවට ගිහින්  නුවර යන ඉන්ටසිටි කෝච්චියේ  නැග්ගේ හිතේ කොතැනක හරි බරක් තියාගෙන..ඒ බර හැමදාටම රිදුණ එකක්...මම හැමදාම බලන් ඉන්නේ ඒ බර බිම තියලා නිදහස් හුස්මක් දෙන්න අහසට...

මම මට අදාල නොම්බරය හිමි තැන ඉඳ ගත්තා...පුංචි කාලේ ඉඳන්ම මම ආස බස් එකේ ගියත් ජනේලයක් ලඟ යන්න....කොහොම හරි අඬලා ඒ තැන මම ගන්නවා.....ජනේලයක් ලඟ කියන්නේ ගොඩක් ඈතට යන්න පුළුවන් තැනක්...හිතන්න පුළුවන් තැනක්....මගේ කවි පොත පිරෙන තැනක්....

ඒ මොහොත මම ටික ටික ගෙවුණ හැමදේම මතක් කල එකම මොහොතක්.....මම ඉඳන් හිටපු තැනම අනික් ආසනයේ කවුරු හරි ඇවිත් ඉඳ ගත්තා....මම චුට්ටක් ඔළුව හරවලා බැලුවා....මම බලනවා දැක්කම ඔහුත් මගේ දිහා බලලා හිනා වුණා...අවුරුදු 35ක විතර ප්‍රිය මනාප මහත්මයෙක්....මමත් පෙරලා හිනා වෙලා එළියේ ඈතට ඇස් යැව්වා....

ඊළඟ මොහොතේ කෝච්චිය හෙමින් ගමන් ඇරඹුවා....ඉස්සෙල්ලාම ඔහු මට මුණ ගැහුණ දවස අද..ඒත් මේ කෝච්චියේදිම...මට ඉස්සරහින් ඉඳගෙන මා දිහා බලන් හිටපු ඔහු මුණ ගැසුණ මේ හැම දවසකම මම මේ කෝච්චියේම නුවර යනවා...ආපහු දවල් කෝච්චියේම එනවා...ඔහු මුණ ගැසුන දා ඉඳලාම අපි විනෝදට වගේ ⁣ඒ දවසට මෙහෙම ගියා.....ඔහු මාව දාලා ගිය දවසේ ඉඳලාම අද වෙනකල් මම මෙහෙම යනවා...තේරුමක් නැ වගේ දැනුනාට ඔහු ඉඳිවි කියලා බලාපොරොත්තුවෙන්...ඇයි එහෙම කලේ කියලා එක සැරයක් අහන්න....උත්තරයක් දුන්නත් නැතත්...

මම පියවි සිහියට ආවේ මගේ ලඟ හිටපු මනුස්සයා මට කතා කරද්දි...

"ටිකට් එක ඉල්ලනවා"

"අහ්..ඉන්න"

මම හිනා වුණා...ස්තූතියි කියන්න

එසැනින් මට ඕන වුණේ ආපහු මගේ මනෝ ලෝකෙට පිස්සුවෙන් වගේ යන්න...

ගෙදරට හොරෙන් ආදරේ කරපු...හොඳම යාළුවා විතරක්ම දැනන් හිටපු ඒ ආදරෙට අදටත් මම ආදරෙයි ....

"ගෙදරට කියමු"

කියපු හැම වෙලාවෙම එයා කිවේ

"දැන්ම එපා"

ඒ හැම පාරම මම හිත හදා ගත්තතේ

"මොනාම හරි හේතුවක් ඇති"

කියලා හිතලා.....අපි වෙන් වෙලා...නැ ..එයා මාව දාලා ගිහින් හරියටම අවුරුද්දයි...මේ වෙනකල් කිසිම ආරංචියක් නැතිව...මම මට පුළුවන් විදිහට හොයා බැලුවා..එයාට කිසිම අගෞරවයක් නොවෙන විදිහට.....මම අපි මුණ ගැහුණ හැම තැනකම රැකගෙන හිටියා..එයා කවදාවත් ඒ තැන් වලට ආවේ නැ..අඩුම ගානේ වෙන කවුරු හරි එක්කවත්...

අන්තිමට මුණ ගැහුණ දවසේ අපි ගොඩක් හිනා වුණා..කතා කලා....අන්තිමට වෙන් වෙලා යද්දි කිසි කලබලයක් නැතිව නලලේ තිබ්බ හාදුව තාමත් හීතලට දැනෙනවා ....

දන්නවා නම් දමා යන වග
යන්න දෙන්නැ ඇත්තමයි
මා සන්තකව තිබු එකම වත්කම
නුඹම පමණයි පෙර දිනේ

රිදෙන බව මේ හැටිම
දැන උන්න නම්
බැඳෙන් නැ මම
බිඳෙන බැඳුමක

නුඹේ ලඟින් හිඳ
සුසුම් ස්වරයක
බැඳි වෙහෙසව ලතැවෙමි
එන්න හිතුනොත් එන්න ආයිම
තාම මේ හිත නුඹටමයි....

*** *** *** ***
"දුකින්ද"..?

තිගැස්සුනා ඒ කට හඬට...


#ආදරණීය-මල්

Wednesday, April 11, 2018

සංසුන්ම සිතිවිලි ..

බස් එකේ කවුළු වලින් කම්මුල් තදින්ම සිප ගෙන එන හීතල හුළඟට ආදරේ කරන්න හිතෙන මොහොතක්..කොයි තරම් හීතල වුණත් මුළු ඇඟේම දැවටෙන ඒ හුළං පාර ඇස් දෙක පියාගෙනම විඳින්න හිතෙන මොහොතක්.....එකමෙක තප්පරයක්වත් ඒ හැඟිමෙන් මිදෙන්න නොහිතෙන මොහොතක්....හීන් වැස්සකුත් ඒ එක්කම....ඒත් ඇස් පියා ගෙනම ඒ මොහොත විඳිමි....

හන්තානට පායන හඳ
ලස්සනයිද බලන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න....

ඒ සිංදුව ඇහෙනවා ඒ මොහොතෙම....මම වැඩියෙන්ම සම වැදුන මොහොතේදි.....⁣ආසම කරන සිංදුවක්....ආසම කරන බර කට හඬ...වෙනදාටත් වැඩිය ඕන කමින් එ් සිංදුව මගේම කර ගන්න උත්සහ කරපු තරම්...ඇස් දෙක පියාගෙනම..ඒක හාවනාවක්.....මට ඇත්තටම හිතුනා ඒ සිංදුව අස්සේ ඉන්නේ මහ ඉරිසියාකාර පෙම්වතෙක් කියලා....එහෙම ලේසියෙන් මහවැලියට දාලා අමතක කරන්න බැරි මතක ගොඩක් ඒ සිංදුවේ හැම වචනෙකම තියෙනවා.....

කිසිම හැල හොල්මනක් නැතිව තවත් ඇස් පියා ගත්තා...

හන්තාන කඳුපෙල සඳට ආ වඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගේ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිච්චෙක් මගේ දුකට හඬනවා...

ඊළඟට ඇහෙන සිංදුව....කිසිම සම්බන්ධකමක් නැතත් හිත නැවතුන සිංදුවක් භද්‍ර ජීගේ....ඒත් ඒ මොහොත තනි කමක් හිතට දැනුන මොහොතක්..කාගේ හො අඩුවක් දැනුන මොහොතක්.....අපැහැදිලි රූපයක් ඇස් අස්සේ ඇ⁣ඳෙන්න ගත්තා....පැහැදිලි කර ගන්න තරම් ඉස් පාසුවක් නැහැ...මොකද ඊළඟ මොහොත ඇස් තෙත් වෙන මොහොතක් වෙයි කියන බය තදින්ම හිත දන්න නිසා....හිතන්න වැස්ස දවසක හීතලම ඔබට මේ සිංදුත් එක්ක මොහොතක් ඔබේ හදවත ස්පර්ශ කරන්න ලැබුණොත්.....මේ හදවත හරි උණුසුම් ඒකේ දෙකක් නැ......

සමුගෙන යන්න ලෝබ වුණත් සමු ගත යුතුම මොහොතක අකමැත්තෙන් සමු දුන් මොහොතක්...හිතේ ගොඩක් දේවල් තියාගෙන...ඊළඟ මොහොතේ අකුරු කරන්න...මුළු හිතම නිවෙන බව දන්නවා...ඒ නිවුනේ ඔබෙන් වගත් දන්නවා.....




#ආදරණීය_මල්
#ජීවිතේ සමහර තැන් හරි පුදුමයි.... හමු වීම් මඟ හැරිම්..සමු ගැනීම්...හිත් රිදවීම් ...හිනාවල්..සතුට..දුක ..කඳුළු වගේ තවත් දේවල් එක්ක ගලන් යනවා.....

#අතීතය_ගුරුවරයෙක්මැයි කියන එක නම් මම අදහන ධර්මයක්...උගත් පාඩම් එක්ක මංපෙත් හෙලි පෙහෙලි කරන් තමා යන ගමන යන්න ඕන....අමතක කරන්න බැරි අතීත සටහන් එක්ක හූල්ල හූල්ල ඉන්න නැතිව අතැ හැරීම කියන තැන ඉඳලා ⁣හොඳ විදිහට ජීවිතේ හදා ගත්ත හැකි..

එක එක කාල වලදි අපිට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා...අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා....උගත් පාඩම් වලින් නුවණ පෙර දැරි කර ගෙන මේ අයත් එක්ක ගණු දෙනු කරන්න පුළුවන් .....

සමහර තැන් වලදි අපිට මඟැරුන අපිව මඟැරලා ගියපු  අය ආපහු ඒවි...සමහර විට අර සුපුරුදු හිතේෂිවන්තකමින්ම.....නැත්නම් ඒකේ අනික් පැත්ත වෙන්නත් පුළුවන් ....ඒත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ අය එන්නේ හොඳට නරකටද කියලා....සමහර විට බ්‍ඳිලා ගියපු බැඳිම් නැවත ඇති කර ගැනිමේ අභිප්‍රායම වෙන්න පුළුවන් ....

සමහර අය එනවා උදව්වක් කර ගන්නම ඕන වුණාම...ජීවිතේට කොහොමද සැප සනීප කියලා අහන් නැති අය වෙන්නත් පුළුවන් ...වැඩක් කර ගන්න ඕන වුණාම ආත්මාර්ථකාමීකමින්ම මතක් කරනවා...කිසිම පැකිලිමක් නැතිවම උදව් බලාපොරොත්තු වෙනවා....

ජීවත් වෙන්නේ ටික කාලයයි......ඒ ටික කාලේ හොඳ විදිහට ජීවත් වෙන්න ඕන.....ප්‍රිය මනාප විදිහට...ජීවත් වෙන්න ඕන දැනෙන්න.....ඒනිසා ජීවත් වෙන්න දැනෙන්න ....

#ආදරණීය_මල්

Tuesday, April 10, 2018

#තාත්තෙක්ගේ ඇස් දෙකක් කියන්නෙම නිල් පාටට දිලිසෙන තරු දෙකක්....ඒ ඇස් දෙකෙන් තමා දුවගේ ඇස් දෙකටත් එළියක් දෙන්නේ....

#තාත්තෙක්ගේ හිනාවක් කියන්නෙම ආදරය..කරුණාව ..ආරක්ෂාව පිරුන තැනක්....අන්න ඒ හැමදේකින්ම තමා දේදුන්නක් වගේ දුවෙක්ගේ මූණට එළිය වැටෙන්නේ....

ඒ හැමදේකින්ම තමා මහ පවුරකින් වට වුණා වගේ දුවෙක්ව රැකෙන්නේත්....තාත්තාගේ හදවතේ සිසිලසින් තමා දුවෙක් ලෝකය දකින්නේ.....ආදරය ඉගෙන ගන්නේ...කරුණාව ඉගෙන ගන්නේ...

#තාත්තෙක් කියන්නෙම අහසක්..දුවෙක්ගේ ලෝකයක්ම රකින....



#මල්


#කොල්ලැම්මා ආච්චි නිවන් ගිහින් දැන් ගොඩක් දවස්....⁣ඉස්සර අවුරුදු කාලෙ ලං වෙද්දි අපේ ගෙදර කැවුම් හදන්න ආව ආච්චි #කොල්ලැම්මා ආච්චි....එයා කවමදාවත් අපේ අම්මාගේ වචනයක් අහක දැම්මේ නැ....පණිවිඩේ ලැබුණාද එයා හරියටම ඒ දවසේ අපේ ගෙදර....එයාට බැරි වෙනකල්ම එයා අපේ ගෙදර ආවා....

#කොල්ලැම්මා ආච්චි මට නම් හරිම වීරවරයක්..එයාට හැම කෑමක්ම හදන්න පුළුවන්නේ රසට ....ඒක පුදුම හාස්මක් ඒ කාලේ මට හිතුනේ එහෙම.....එයා හරි මිටියි..සුදුම සුදු පාට කොන්ඩේ එයා ගෙඩියක් බැඳලා හිටියේ හැම තිස්සෙම...ඉස්සරහ දත් ඇන්දම ඉස්සරහට ඇවිත්....කළුම කළු පාට එයාව පුංචි කාලේ මට පුදුම ලස්සනයි කියලා හිතුනේ.....තාම මට මතකයි..ඇත්තටම එයා හැබැ ලස්සනයි ...රෙද්දයි හැට්ටෙයි ඇඳලා...පුදුම කඩිසරකමක් තිබ්බා එයාගේ ..."චූටි බේබි" ,කියලා ආදරෙන් කතා කරද්දි පුංචි මගේ හිතම පිරෙනවා...

මට ප⁣ස්සේ කාලෙක හිතුනෙම එයාගේ නම මොකද්ද කියලා..උප්පැන්නේ තියෙන්නෙත් ඒ නමද....පස්සෙදි මම හිතුනේ මෙහෙම....එයාට හිටියේ එකම පුතයි දරුකමට....කොල්ලැයේ+ අම්මා #කොල්ලැම්මා වෙන්ට ඇති කියලා මම හිතා ගත්තා....මොකද පංඩිතකමට ගිහින් අපේ අ⁣ම්මගේ දෙක තුන අහගන්නත් වෙනවා ඒ පාර....

#කොල්ලැම්මා ආච්චි අපේ ගෙදරට එන්නේ ඉර එනකොටම....මට හිතුනෙම එයා උදෑසන කොටසක් කියලා....ඒ තරම් එයා මගේ අස් දෙකට ප්‍රියයි...ඒ ආවම ඉස්සෙල්ලාම උදෙට කාලා කහට කෝප්පයක් බොනවා...එයාට ඉතිං වැඩ පටන් ගත්තම කෑමත් ඕන නැ...කහටම තමා...

එයා වැඩ පටන් ගන්නවා පිලවෙලට...පියවරෙන් පියවර පිලිවෙලට...කිසිම තැනක් අපිරිසිදු කර ගන්නැ....එළියෙන් එයාම හදා ගන්නවා එයාට ඕන විදිහට ලිපක්...අපි ඕන කරන ගල් හොයා දෙනවා....හැබැයි එයා කොන්ඩ කැවුම් හදන්න එයාගෙම පුංචි භූමිතෙල් ලිපක් අරන් එනවා..කොකිස් අච්චුව...කූර පවා එයා අරන් එනවා...ඒ එයාගේ අනන්‍යතාවය....

ඉතිං කැවුම් හදන්න ගත්තම මමත් ඉතිං බංකුවක් ලං කරන් ලඟින් ඉඳ ගන්නවා...මාත් එක්ක මොනා හරි කියවනවා ඉඳ හිට..වැඩ කරද්දි කතා නැ...මැෂිමක් වගේ.....

ගෙදර කැවුම් හදන කොට පලාතම සුවඳයි...හැම ගේකම එහෙමයි....ඒ කාලේ පුදුම සුන්දරයි අදට වඩා..ඇත්තටම අද ඉස්සර වගේ නැ හැම දේම වෙනස් වෙලා...

ඉතිං #කොල්ලැම්මා ආච්චි දවසක් අපෙ ගෙදර ඉන්න එකට මම ආසයි....එයා ලඟ නිදා ගන්න හිතුන වාර අන්නතයි...එයා ලඟින් එන්නේ අමුතු සුවඳක්..කරුණාවේ සුවඳද මංදා....ඊළඟ දවසෙත් උදේම එයා වැඩ පටන් ගන්නවා...එදාට තමා කොන්ඩ කැවුම් හදලා...දොදොල් හදන්නේ....දොදොල් හැදිල්ල තමා මම ආසම..ඒත් දුකම මාව ඒ වැඩේට ගන්නැ....අයියාලව තමා ගන්නේ දොදොල් හැදි ගාන්න ගන්නේ...මට කියලා කර ගන්නේ මුං කැවුම් පිටි ගුලිය ඒ හැඩේට කපා ගන්න එක...ආසාවෙන් කියන හැම දේමත් කරනවා..

#කොල්ලැම්මා ආච්චිව මතක් වුණා මමත් කොහොම හරි මෙදා සැරේ පුළුවන් විදිහට කැවිලි ටිකක් හදනවා....ඉස්සර නම් කාටම හරි කියලා හදා ගත්තා..නැත්නම් කඩෙන්....දරුවන්ටත් ඒ අත්දැකීම විඳින්න දෙන්න ඕන කියලා හිතුනා..😊...මට හොඳම අවුරුද්ද මේක වේවි....!



#මල්

Wednesday, January 10, 2018

#true_love

ඔයාලට හම්බ වෙලා තියෙනවද හැබැ ආදරය...ඇත්තටම හමු වෙලා ඇති..ඒත් බොහෝම ටික දෙනෙක්ට..එතකොටයි අපි කියන්නේ "අනේ ඒ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙනවා" කියලා....හැබැ ආදරේ ලෝකෙට පෙන්න නෙමේ..කොතනදිත් හැබැවක්මයි...

ජර්මනියේ හිටියා මෝසස් කියලා පොසත් මනුස්සයෙක්...ඉහල සමාජ ඇසුරක් පිලි ගැනිමක් තිබුණ කෙනෙක්...නමුත් මෝසස් දිහා බැලුවම වෙනසක් තියෙනවා...එයා කුදුයි..පිට මැද්දෙන් නැම්ලා...අපි සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් දැක්කම කියනවානේ "එයා හරිම කඩවසම්" කියලා..නමුත් ඒ කිසිම ලස්සනක් මෝසස් ලඟ තිබ්බේ නැ...ඒත් මෝසස්ට තිබුණා බොහෝම ලස්සන වටින දෙයක්....මෝසස්ට තිබුණා ලස්සන හිතක්....

මෝසස් අසාවෙන් හිටියා කසාද බඳින්න..නමුත් එයාව ඒ කතාවේදි ප්‍රතික්ෂේප වුනා...දවසක් මොසස් ව්‍යාපාර කටයුත්තකට ගියා එයාගේ යාළුවෙක්ගේ ගෙදර...ඒ යාළුවට හිටියා සහොදරියක්..ඇය රෑමත්...love at first sight අපි කියන්නේ දැක්ක ගමන් හිත ගියා නැත්නම් ආදරයක් ඇති වුනා කියලා...ඒ වගේම මෝසස් මේ තරුණියට දැක්ක ගමන් ආදරේ වුනා....

සේරම ඉවර වෙලා මෝසස් හිතුවා තරුණියට තමුන්ගේ හැඟිම කියනවා කියලා..එහෙම හිතලා මෝසස් තරුණිය ලඟට ගියා..ඇය ඉදිරියෙන් ඉඳ ගෙන ඇයගේ දුක සැප විස්තර ඇහුවා...නමුත් ඇය කිසි විටෙකත් මොසස් දිහා කෙලින් බලලා කතා කලේ ⁣නැ....වචනෙන් නොකිව ප්‍රතික්ෂේප කිරිම් ඇය ක්‍රියාවෙන් පෙන්නුවා...

ඒත් මෝසස් පසු බැස්සේ නැ..මෝසස් තරුණියගෙන් මෙහෙම ඇහුවා..

"ඔබ දෙවියන් විස්වාස කරනවාද"

"ඔව්" තරුණිය බිම බලාගෙනම කීවා

මෝසස් අහනවා..

"ඔබ දන්නවාද දෙවියන් වහන්සේ හැමදේම තීරණය කරනවා....කොටින්ම අපිට ගැලපෙන සහකරු හෝ සහකාරිය පවා"

ඇය හිනා වෙලා කියනවා..

"ඔව් ඒක ඇත්ත...මම ඒකත් විශ්වාස කරනවා..මටත් මේ ලෝකේ දෙවියන් මවපු කෙනා ඉන්නවා"..ඇය ආඩම්බරෙන් කිවා...

"එහෙනම් ඔබ දන්නවද දවසක් මම දෙවියන් මුණ ගැහෙන්න ගියා...මම කිවා මම ආදරේ තරුණියක් ඉන්නවා..ඇය ඉතාමත් රෑමත්..ඒත් රූමත් ඇය කුදුයි කියලා"..

දෙවියන් වහන්ස කිවා "ඔබආදරෙයි නම්..ඇය රූමත් නම් කුදු බව ගැටළුවක් කර ගන්න එපා..ඇයව විවාහ කර ගන්න"

මම කිවා "නැහැ දෙවියන් වහන්ස රූමත් ඇයට කුදුව ගැලපෙන් නැ...ඇගේ කුදුව මට දෙන්න කියලා" අන්න එතන ඉඳලයි මම කුදෙක් වුණේ...."

ඇය පුදුමෙන් ඔහු දිහා බලන් හිටියා...පුදුම ආදරේකින්..ඇය ඔහු හා විවාහ වුණා ...සැබැ ආදරෙත් එක්ක..

සැබැ ආදරේ තියෙන්නේ හිතේ...බලන්න දවසක ඔබටත් හමුවේවි...

මල්......


Tuesday, January 9, 2018

#හොඳමකෙනා#

අපි ගොඩක් වෙලාවට අපේ ජීවිත වලට ලං කර ගන්න කැමති හොඳම දේවල්....ඒ අපි හොඳින් ජීවත් වෙන්න තියෙන කැමැත්ත නිසා..

එක මහත්මයෙක් හිටියා...එයා ගොඩක් හොඳ කෙනෙක්...තමුන්ගේ යුතුකම් වගකීම් හැම තැනකදීම හරියටම තිතට කරපු කෙනෙක්...
මිල මුදල්..සැප සම්පත් හැමදේම එයාට තිබ්බා...

ඒත් එයා කවදාවත් විවාහ වුනේ නැ....එයාට අවුරුදු 90ක් වේද්දිත් එයා අවිවාහකයෙක්...එයා නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වෙලා මරණාසන්න වෙලා හිටියේ...

දවසක් එයාව මුණ ගැහෙන්න කෙනෙක් ආවා...මේසා විසාල සැප සම්පත් තියෙන මේ වයොවෘද්ධ මනුස්සයාට මෙහෙම කිවා..

"ඔබට දැන් වයස 90 ක් වෙනවා...දැන් හොඳටෝම ලෙඩ වෙලා මේවා රහස් හැටියට තියන් ඉඳලා දැන් වැඩක් නැ...මෙච්චර ධනයක් හිමි ඔබ ඇයි විවාහ නොවි හිටියේ"....

එතකොට අර වයොවෘද්ධ මනුස්සයා මෙහෙම කිවා..

"මමත් ආසාවෙන් හිටියා විවාහ වෙන්න..දරුවෝ හදන්න..ඒත්..මට ඕන වුනේ හොඳම කෙනා"

"ඉතිං ..ඔබට හමුවුනේ නැද්ද ඔබ හොයන එහෙම කෙනෙක්ව"

"ඇයි නැත්තේ..මට මුණ ගැහුණා"

ඉතිං...ඔබ කීවේ නැද්ද ඇයට ඔබ ඇයට ආදරේ කරන බව"..

"ඇයි නැත්තේ...මම කිවා..ඒත් ....එයත් ⁣හොය හොය හිටියේ හොඳම කෙනා"..

ජීවිතේ ඇත්ත ඒකයි සමහර වෙලාවට අපි හොඳම කෙනා හැටියට තෝර ගන්න කෙනාට අපි ⁣හොඳම කෙනා නොවෙන්න පුළුවන් ..ජීවිතේ සමහර දේවල් ගලප ගන්න අමාරුයි..ඒ එකක් තව එකකින් වෙනස් නිසා...

මල්...


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...